Wednesday, November 17, 2010

බහිරව සංකල්පය


ඉන්දියාවේ පුරාණ ග්‍රන්ථ වල හා ඓතිහාසික ජනකතා ආශ්‍රයෙන් අපට කුවේර හසුවෙයි. කුවේර ලංකාවේ සම්භාව්‍ය සාහිත්‍යයට එකතු වෙන්නේද ඉන්දීය මූලාශ්‍ර ඇසුරෙනි. කුවේර විශාල ධර්ම භාණ්ඩාගාරයටකටද, පද්ම භාණ්ඩගාරයකටද, හිමිකම් කියයි. කුවේර සතු මහා ධන නිධානය ආරක්ෂා කරනුයේ බහිරවයා විසිනි. කුවේර සතු මහා ධන නිධානය ආරක්ෂා කරනුයේ බහිරවයා විසිනි. බහිරවයාගේ මෙම මැදිහත්වීම එය සංකේතවත් කරනු පිනිසය. බහිරව රූපයේ සටහන හෝ මූර්තිය අදාළ ස්ථානයේ ප්‍රතිෂ්තාපනය කිරීම ක්‍රි:පූ යුගයේ උපයෝගී කරගත් වාස්තු විද්‍යාත්මක ලක්ෂණයකි.

ධර්ම භාණ්ඩාගාරය ලෙස සැලකෙන්නේ වෙහෙර විහාරාමය ආදී යයි. පුරාණ බෞද්ධ රටවල පිළිම ගෙවල්වල දක්නට ලැබුණු මුරගල වශයෙන් හැඳින්වූයේ යටකී බහිරව සලකුණයි. වාස්තු විද්‍යාත්මක නිර්මාණයනිහි පිවිසුම් ද්වාරය දෙපස අඩි හතරක් පමණ උසැති බහිරව රූපය සලකුණු කළ මුරගල් දක්නට ලැබේ. පියගැට ‍පෙළ දෙපස ඇත්වැල් වන කොරවක් ලඟ ආරම්භ වන තැන බහිරව මුරගල පිහිටුවා තිබේ. එය පිහිටුවන්නේ ආරක්ෂනා පිළිබඳ සුවිශේෂී සළකුණක් වශයෙනි. එසේ නොවන අවස්ථාවක නාගරූප හා දොරටුපාල රූප සහිත මුරගල් අපට හමුවේ.

පද්ම බහිරව මුරගල සෙසු මුරගල් අතර සුවිශේෂීය. මෙහි නිරූපණය වන්නේ කුවේරගේ පද්ම නිධිය රකින පද්ම බහිරවයාය. කොළඹ ජාතික කෞතුකාගාරයේ මෙම බහිරව රූපය සහිත ක්‍රි:ව: 07 හා 09 අතරට ගැනෙන එකම මුරගලක් පමණක් ආරක්ෂා වී තිබේ. එය ලැබී තිබෙන්නේ අනුරාධපුර විජයාරාමයෙනි. එහි ඉහල කොටස මඳක් කැඩීගොස් තිබුණත් බහිරව රූපය හොඳ භාවයෙන් ආරක්ෂා වී තිබේ. ශීර්ෂය පිපුණු නෙළුමක ආකාරයෙනි. නෙළුමෙහි පිපුණු පෙති සෘජුව තිබේ. අනෙක් පෙති පහළට එල්ලා වැටේ. දෙකන් සිලින්ඩරාකාර කුණ්ඩලාභරණයෙන් සරසා ඇත. මුහුණේ ඇහි බැමි ඝනව පෙන්වයි. දෙඇස් හොඳින් විවරවී තිබේ. උඩුකුරුව කැරකුණු උඩු රැවුලකි. මුහුණ රෞද්‍ර ගතියක් පිළිඹිබු කරයි. ගෙල බැඳි ආභරණ 03කි. දෙඅත්හි බාහු වළලුද, අත් වළලුද වෙයි. නියපොතු වක්කොට පෙන්වීමට උත්සාහ දරයි. උරය මධ්‍යයේ උදර බන්ධනයකි. යටිකය සකසා ඇත්තේ කෙටි සලුවකිනි.

පුරාවිදු උරුමයට හානිදායීවන කිසියම් කටයුත්තක් සිදුවන විට බහිරවයා අදෘෂ්‍යමානව මැදිහත්වන විවිධ උපායයයන් යොදා උරුමය රකින බව අදත් ජනයා විශ්වාස කරති.

No comments:

Post a Comment