Friday, November 19, 2010

යුද ගිනිදැල් මැද ආරක්ෂා වූ මාන්තායි වරාය අවිධිමත් සංවර්ධනයෙන් විනාශයි.


සොබාදහමේ ආශීර්වාදය හේතුවෙන් යුද සමයේ වුවද සංහාරයට ලක් නොවූ ඇතැම්  පුරාවිද්‍යා ස්ථාන පශ්චාත්  යුද සමයේ සිදුකෙරෙන ක්‍රියාකාරකම් හමුවේ වැනසෙමින් පවතින බව දිවයිනේ ස්ථාන කිහිපයකින් බහිරව අඩවිය වෙත වාර්තා‍ වී තිබේ.

නිසි ප්‍රතිපත්තියක් නොමැතිව සිදුකෙරෙන සංවර්ධනය ඇතුළු ක්‍රියාකාරකම් හමුවේ බොහෝ  ස්ථානයන්හි භෞතික විපර්යාසයන් සිදුකර ඇත. එහිදී බලධාරීන් පුරාවිද්‍යා අගයන් කෙ‍රෙහි කිසිඳු සැලකිල්ලක් දක්වා නැත. දැනටමත් බල පත්වන පුරාවිද්‍යා නීති තුට්ටුවකට මායිම් කොට නැත. ඊට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ මෙම ක්‍රියාකාරකම් රජයේ ඉහළ බලධාරීන්‍ ඔවුන්ගේ හිතුවක්කාරී අභිමතය පරිදි සිදු කරන බැවිනි. ඔවුන් යහපතක් සිදුකරන මූවාවෙන් මෙලෙස විනාශ කර දමන්නේ දැයේ උරුමයයි. නැත....! මානව සංහතියේ උරුමයයි.

මේ සම්බන්ධයෙන් ඉතා මෑතකදී වාර්තාවූ උදාරහරණයක් වන්නේ පුරාණ මාන්තායි වරාය පරිශ්‍රයට සිදුකෙරෙමින් පවත්නා විනාශයයි. අනු‍රාධපුරය පාලන මධ්‍යස්ථානය වශයෙන් පැවති වසර 1500කට අධික කාලයේ ප්‍රධානතම නාවුක හා වාණිජ වරාය බවට පත්ව තිබූ මාන්තායි පැරණි වරාය නගරය පෙරඅපර දෙදිග ලෝකය යා කළ සේද මාවතේ කේන්ද්‍රස්ථානයක පිහිටියේය. කොන්ස්තන්තිනෝපල් නගරෙයේ සිට ඇෆ්ගනිස්ථානය පසුකරමින් චීනයට ගමන් කිරීමේ වෙළඳ මාර්ගයේ හරිමැද මෙම මාන්තායි (මන්නාරම, මහාතිත්ථ, මන්තොට‍, මහපටන) වරාය නගරය පිහිටියේය. අතීතයේ දකුණු ආසියාවේ වාණිජ ආධිපත්‍යය පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියා ලැබීමට එක් සුවිශේෂී හේතුවක් වූයේ ස්වභාවික අනතුරු රහිත මෙම වරාය නිසාය.

මන්නාරම මුහුදු වෙරළේ සිට රට අභ්‍යන්තරයට කිලෝමීටර් 05ක් පමණ ගමන් කලද මුහුදු මට්ටමින් අඩි 03ක් වත් නොඉක්මවයි.  එවැනි සුවිශේෂී  භූමිය ස්වභාවික පරිසරය අවශ්‍යතාවන්ට අනුව මනාව හසුරුවා ගනිමින්  අශ්ව ලාඩමක හැඩයෙන්  යුත් උස් ගොඩනැඟිල්ලක වරාය නගරය නිර්මාණය කිරීමට ඉපැරණි ලාංකීය වරාය ඉංජිනේරුවන් සමත් වී තිබේ.

මෙම භූමිය නිරන්ත‍රයෙන් පුරා විද්‍යාඥයින්ගේ අවධානයට යොමුවී තිබේ. 1886 ඩබ්. ජේ. එස්. බොකේ ගෙන් පටන් ගෙන 1926, 1950, 1957, 1965, 1970, 1980 එස් යූ දැරණියගල දක්වා විවිධ වකවානුවල විවිධ පුරාවිද්‍යාඥයින් මෙහි පුරාවිද්‍යා පර්යේෂණ සිදුකර තිබේ. ලෝකයේ විවිධ රටවලට අයත් මැටිබඳුන්, පබළු, ආදියේ අවශේෂ විශාල ප්‍රමාණයක් හමුවී තිබේ. ඒ අතරට විවිධ රටවල නිකුත් කළ කාසි විශාල ප්‍රමාණයක්, ලෝහ මෙවලම්, ඇත්දළ  නිර්මාණද වේ. දැනට මෙහි ඉතිරිව ඇති පැරණි ගොඩනැඟිල්ල තිරුකේශ්වර කෝවිලයි.

මාන්තායි වරාය නග‍රයේ සුවිශේසී පුරාවිද්‍යා වටිනාකම් සහිත කලාපය (Archiological Zone)  2009 දෙසැම්බර් මස විදුකළ ගවේෂණයන්හිදී අනාවරණය වූයේ එම බිම්කඩ එල්ටීටීයට යටත්ව පැවති සමයේ ඒ පරිද්දෙන්ම ආරක්ෂාවී තිබූ බවයි. එහෙත් මන්නාරම නගරය ඉදිකිරීමේ වන සැලසුම් ක්‍රියාත්මක වන්නේ නිසි කළමනාකරණය කින් නොවේ.

සංවර්ධනය යෝජනා ක්‍රම වල අක්‍රමවත් ක්‍රියාපටිපාටීන් හේතුවෙන් යුධ සමයේ විනාශයට පත්නොවූ සංස්කෘතික උරුමය පශ්චාත් යුධ සමයේ සංවර්ධන ක්‍රියාවලිය තුළ සංහාරයට පත්වෙමින් තිබේ. විශේෂයෙන් පුරාවිද්‍යා දේපාර්තමෙන්තුව මඟින් ලබාගත යුතු හානි ඇගයුම් වාර්තා (A 1 A Report) ආදී කිසිවකින් තොරව සිදුකරන මෙබඳු මැදිහත් වීම් තුළින් පුරාවිද්‍යාත්මක පරිශ්‍රය මුළුමනින්ම විනාශ කර දමනු ඇත. භූතලය මත වසර දහස් ගණනක් ගතවෙමින් සැතපෙන ස්ථර අනුක්‍රමික සටහන යනු එකී භූමියෙහි ඉතිහාස ගත ප්‍රවෘත්තියයි.

සංචාරක ව්‍යාපාරයට ගෝලීය අවධානය දිනාගත හැක්කේ මෙම උරුමය නිසි ප්‍රමුඛත්වය දී සංරක්ෂණය කිරීමෙනි. එය මිලියන ගණනින් මුදල් උපයන සංචාරක මධ්‍යස්ථානයක් කළ හැකිය. එහෙත් මේ වන විට මාන්තායි උරුම‍යෙන්  විශාල  කොටසක් ඩෝසර් යෝදා විනාශකර හමාරය. අද බොහේ විට ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සිදුවන්නේ ප්‍රවීනත්වය ඇති ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ සැලසුම් අනුව නොවේ. මාධ්‍ය පිරිවරාගත් අමන දේශපාලනඥයින් උස් තැනකට නැඟ අත දිගුකර පෙන්වන සැලසුම් ඔස්සේය. ඔවුන් සංවර්ධනයේ කුරිරු බව තුළින්ම මෙරට ඓතිහාසික උරුමය කටුගා දමනු නොඅනුමානය.

Wednesday, November 17, 2010

බහිරව සංකල්පය


ඉන්දියාවේ පුරාණ ග්‍රන්ථ වල හා ඓතිහාසික ජනකතා ආශ්‍රයෙන් අපට කුවේර හසුවෙයි. කුවේර ලංකාවේ සම්භාව්‍ය සාහිත්‍යයට එකතු වෙන්නේද ඉන්දීය මූලාශ්‍ර ඇසුරෙනි. කුවේර විශාල ධර්ම භාණ්ඩාගාරයටකටද, පද්ම භාණ්ඩගාරයකටද, හිමිකම් කියයි. කුවේර සතු මහා ධන නිධානය ආරක්ෂා කරනුයේ බහිරවයා විසිනි. කුවේර සතු මහා ධන නිධානය ආරක්ෂා කරනුයේ බහිරවයා විසිනි. බහිරවයාගේ මෙම මැදිහත්වීම එය සංකේතවත් කරනු පිනිසය. බහිරව රූපයේ සටහන හෝ මූර්තිය අදාළ ස්ථානයේ ප්‍රතිෂ්තාපනය කිරීම ක්‍රි:පූ යුගයේ උපයෝගී කරගත් වාස්තු විද්‍යාත්මක ලක්ෂණයකි.

ධර්ම භාණ්ඩාගාරය ලෙස සැලකෙන්නේ වෙහෙර විහාරාමය ආදී යයි. පුරාණ බෞද්ධ රටවල පිළිම ගෙවල්වල දක්නට ලැබුණු මුරගල වශයෙන් හැඳින්වූයේ යටකී බහිරව සලකුණයි. වාස්තු විද්‍යාත්මක නිර්මාණයනිහි පිවිසුම් ද්වාරය දෙපස අඩි හතරක් පමණ උසැති බහිරව රූපය සලකුණු කළ මුරගල් දක්නට ලැබේ. පියගැට ‍පෙළ දෙපස ඇත්වැල් වන කොරවක් ලඟ ආරම්භ වන තැන බහිරව මුරගල පිහිටුවා තිබේ. එය පිහිටුවන්නේ ආරක්ෂනා පිළිබඳ සුවිශේෂී සළකුණක් වශයෙනි. එසේ නොවන අවස්ථාවක නාගරූප හා දොරටුපාල රූප සහිත මුරගල් අපට හමුවේ.

පද්ම බහිරව මුරගල සෙසු මුරගල් අතර සුවිශේෂීය. මෙහි නිරූපණය වන්නේ කුවේරගේ පද්ම නිධිය රකින පද්ම බහිරවයාය. කොළඹ ජාතික කෞතුකාගාරයේ මෙම බහිරව රූපය සහිත ක්‍රි:ව: 07 හා 09 අතරට ගැනෙන එකම මුරගලක් පමණක් ආරක්ෂා වී තිබේ. එය ලැබී තිබෙන්නේ අනුරාධපුර විජයාරාමයෙනි. එහි ඉහල කොටස මඳක් කැඩීගොස් තිබුණත් බහිරව රූපය හොඳ භාවයෙන් ආරක්ෂා වී තිබේ. ශීර්ෂය පිපුණු නෙළුමක ආකාරයෙනි. නෙළුමෙහි පිපුණු පෙති සෘජුව තිබේ. අනෙක් පෙති පහළට එල්ලා වැටේ. දෙකන් සිලින්ඩරාකාර කුණ්ඩලාභරණයෙන් සරසා ඇත. මුහුණේ ඇහි බැමි ඝනව පෙන්වයි. දෙඇස් හොඳින් විවරවී තිබේ. උඩුකුරුව කැරකුණු උඩු රැවුලකි. මුහුණ රෞද්‍ර ගතියක් පිළිඹිබු කරයි. ගෙල බැඳි ආභරණ 03කි. දෙඅත්හි බාහු වළලුද, අත් වළලුද වෙයි. නියපොතු වක්කොට පෙන්වීමට උත්සාහ දරයි. උරය මධ්‍යයේ උදර බන්ධනයකි. යටිකය සකසා ඇත්තේ කෙටි සලුවකිනි.

පුරාවිදු උරුමයට හානිදායීවන කිසියම් කටයුත්තක් සිදුවන විට බහිරවයා අදෘෂ්‍යමානව මැදිහත්වන විවිධ උපායයයන් යොදා උරුමය රකින බව අදත් ජනයා විශ්වාස කරති.

Monday, November 15, 2010

කෝකිලායි රූපවාහිනී කුළුණ ඉදිරිකරීමට ආරාම සංකීර්ණයක් විනාශ කරලා



අනුරාධපුර යුගයට අයත් බවට සැළකිය හැකි විශාල ආරාම සංකීර්ණයක්  ඩෝසර් කර කෝකිලායි හි නව රූපවාහිනී සම්ප්‍රේෂණ කුළුනක් ඉදිකරන බව වාර්තා වේ. කෝකිලා හි තිබූ සම්ප්‍රේෂණ කුළුණ එල්ටීටීය විසින් යුධ සමයේ විනාශ කරනු ලැබීය. නව කුළුණ පැරණි කුළු තිබූ ස්ථානයට නොදුරෙන් ඉදිකරමින් තිබෙන අතර එම ඉදිකිරීම් සඳහා අදාළ අංශ විසින් පුරාවිද්‍යා ඇගයීම් වාර්තාවක් ලබාගෙන නැත.

බිම් සැකසීමේදී පසෙකට තල්ලුකර දැමූ පුරාවිද්‍යා ස්මාරකයට අයත් අවශේෂ තවමත් එම ස්ථානයෙහි දක්නට තිබේ. මුලතිව් කැලේ පුරාවිද්‍යා ගවේෂණ කරන බව කියන පුරා විද්‍යා චක්‍රවර්තිලාට රජයේ සෘජු මැදිහත් වීමෙන් සිදුකෙරෙන මෙවැනි විනාශ පෙනෙන්නේ නැත.

Friday, November 5, 2010

වඩමාරච්චි වැලිකන්දෙන් මතුවන පුරාණ ජනාවාස


යාපනය දිස්ත්‍රික්කයේ මුරුතන්කර්නි ප්‍රා‍දේශීය ලේකම් කොට්ඨාශයේ (වඩමාරච්චි නැගෙනහිර) කුඩත්තන්හි සුවිශේෂී පුරාවිද්‍යා ජනාවාසයක් හමු වී ඇති බව බහිරවයාට වාර්තා වේ. කුඩත්තන් අංක් J 41 ග්‍රාම නිලධරී වසමේ පිහිටා ඇති මෙම පුරා විද්‍යා ස්ථානයට පේදුරු තුඩුවේ වල්ලිපුරම් මාර්ගයේ වලිල් පරුම් කොවිල පසුකර කෙටි දුරකින් ළඟාවිය හැකියි. 

මෙම පුරාණ මානව ජනාවාසය ඊසාන දිග වෙරළෙ තීරයේ පැවති සෙසු මානව ජනාවාස හා සහසම්බන්ධ වූ එකම ජනාවාසයක ව්‍යාප්ති ලක්ෂ පිළිඹිඹු කරන බැව් පුරා විද්‍යාඥයින්ගේ අදහසයි. වඩමාරච්චි ප්‍රදේශයෙන් දැනට හමුවී ඇති එකම පුරාණ මානව ජනාවාසය මෙය වන අතර අතීත මානව ක්‍රියාකාරකම්, විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ වෙරළ හා කලපු ආශ්‍රිතව ජීවිත් වූ මානව ප්‍රජාව ගේ ජීවන තොරතුරු හා අර්ථක්‍රමය හඳුනාගැනීම පිණිස ඇති ප්‍රබල සාධකයක් වන්නේය. මෙම ගම්මානයේ පිහිටි වැලිකඳු මත සුවිශේෂී පාංශු ස්ථරයක විවිධ උපයෝගීතාවන් සඳහා භාවිත කළ විවිධ හැඩයේ මැටි බඳුන් කැබිලිති විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. මැටි බඳුන කැබලිවලට අමරතරව මෙහි තැනින තැන යබොර කැබලි හා පබළු දක්නට ලැබේ. මෙම ස්ථනායේ ඇති සමහර ස්පඨික හුණුගල් මත මෙයෝසීන යුගයට අයත් පාෂාණී භූත මුහුදු ජීවීන්ගේ කොටස්ද දැකිය හැකිය. 

දැනට මෙම බිමෙන් සොයගෙන ඇති කාලරක්ත  මැටි බඳුන් (Black & Redware ) අදින් වසර 3000කට පමණ පෙර මෙරට වැසියන් භාවිතා කළ ඒවා බවට තහවුරු වී ඇත. මෙම භූමියේ ඇති සුවිශේෂී ස්ථානයක් ගම්මුන් විසින් "මාලිගාකන්ඩල්" යන දෙමළ වචනයෙන් හඳුන්වයි. ක්‍රි.පු. 1 වන සියවසයේ නාගදීපය පාලයන කළ ඉසිගිරිය ඇමතිගේ හෝ වැලිපුරය රාජධානිය කරගෙන් පාලනය කරගෙන ගිය අප්‍රකට ප්‍රාදේශීය පාලකයෙකුගේ පාලන මධ්‍යස්ථානයක් විය හැකිය.

එය ආරක්ෂ කළ යුතුය. තව දුරටත් පුරාවිද්‍යා පර්යේෂණ කළ යුතුය. සංවර්ධනයේ මුවාවෙන් මිනි‍ත්තු කිහිපයක් තුළ ඩොසර් කොට විනාශ නොකළ යුතුය. අපි අවදියෙන් සිටිමු.

Wednesday, November 3, 2010

පොම් පරිප්පු පුරාණ සොහොන් බිම් විනාශ කරයි.


ශ්‍රී ලංකාව සතු මිළ කළ නොහැකි වටිනාකමකින් යුතු අග්‍රගන්‍ය පුරාවිදු උරුමයක් සේ සැලකෙන පොම්පරිප්පු ප්‍රාග් ඓතිහාසික සොයන් බිම විනාශයට පත්ව තිබේ. රජය විසින් විල්පත්තු වනෝද්‍යානය හරහා මෑතකදී ඉදිකළ මාර්ගය මෙම සුවිශේෂී සොහොන් බිම හරහා කපා තිබීමෙන් මෙම විනාශය සිදුව ඇත.

පරිසරකි වශයෙන්ද, විශාල හානියක් සිදුකළ මෙම මර්ගය කැපීමට එරෙහිව රටතුල මහජන විරෝධයක් පැන නැඟිණි. එහෙත් උතුරු නැගෙනහිර යුද්ධය නිමාවීමෙන් පසු සිදුකළ මෙම සංවර්ධන වැඩ පිළවෙළ එවකට පරිසර ඇමති පාඨලී චම්පික රණවක අනුමත කළේ, එය කොටිනගේ බඩවත පෙදෙසට පහර දීම පිණිස සිදු කරන්නක් බව පවසමිනි. මෙම මර්ගය ඉදිකිරීම නිසා බ්‍රිතාන්‍ය පාලන සමයේ ප්‍රකාශයට පත්කරන ලද විල්පත්තු අභය භූමිය සම්පූර්ණයෙන්ම දෙපලු විය . ස්වභාවික වනඋයනක් මැදින් මෙවැනි මහා මාර්ගයක් ඉදිකිරීම වන ජීවීන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් මෙන්ම පාරිසරික සමතුලිත භාවය සම්බන්ධයෙන්ද ඛේදවාචකයක් විය.

අභය භූමි මෙන්ම පාරිසරික හා පෞරාණික උරුමයන් විනාශයට පත්කරමින් සිදුකෙ‍රෙන ඊනියා ආර්ථික සංවර්ධනය මේ සම්බන්ධයෙන් නැඟුණු දෙස් විදෙස් විරෝධතා සැළකිල්ලට ගන්නේ නැත. පුරා විද්‍යා දෙපාර්තමෙන්තුවේ ඇගයුම් වාර්තා ලබාගන්නේ නැත, පරිසර  ශක්‍යතා වාර්තා ලබාගන්නේ නැත, වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමෙන්තුවේ අවසර ලබාගන්නේද නැත. බලධාරීන්ගේ තනි තීරණයට නාවික හමුදාව යොදා මාර්ගය ඉදිකළෝය. මිනින්දොරු දෙපාර්තමෙන්තුවේ සැලසුම් භාවිතා කළාද යන්නද සැක සහිතය. 1: 50000 අඟලේ ලංකා සිතියමෙහි මෙම පොම්පරිප්පු සොහොන් බිම් සළකුණු කොට තිබෙන බැවින් ඒවා ගැන සැළකිළිමත් වීනම් මෙම විනාශය වළක්වා ගත හැකිව තිබිණි.

"මහා සංචාරය" යන ජැක්සන් ඇන්තනි මහතා කීවේ නාවික හමුදාව බැකෝ වලින් හාරා දුන් මේ අගනා පුරාවිද්‍යා උරුමය ආරක්ෂා කර ගන්නට පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව දැනගත යුතු බවයි. නමුත් මෙම විනාශය සිදුකළේ ආරක්ෂක හමුදාවලට හැර අනෙක් සියුළු රාජ්‍ය ආයතන වලට පවා මෙම ප්‍රදේශයට ඇතුළු වීම තහනම් කිරීමෙන් අනතුරුව බව වාර්තා විය.

මෙම විනාශය කර තිබෙන්නේ වසර 125000 කට එපිට මෙරට ජීවත් වූ මානවයාගේ ජනාවාස හා පරිනාමය හැදෑමරීමට මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කළ යුතු මව්බිමේ උරුමයයි.