සොබාදහමේ ආශීර්වාදය හේතුවෙන් යුද සමයේ වුවද සංහාරයට ලක් නොවූ ඇතැම් පුරාවිද්‍යා ස්ථාන පශ්චාත් යුද සමයේ සිදුකෙරෙන ක්‍රියාකාරකම් හමුවේ වැනසෙමින් පවතින බව දිවයිනේ ස්ථාන කිහිපයකින් බහිරව අඩවිය වෙත වාර්තා වී තිබේ.
නිසි ප්‍රතිපත්තියක් නොමැතිව සිදුකෙරෙන සංවර්ධනය ඇතුළු ක්‍රියාකාරකම් හමුවේ බොහෝ ස්ථානයන්හි භෞතික විපර්යාසයන් සිදුකර ඇත. එහිදී බලධාරීන් පුරාවිද්‍යා අගයන් කෙරෙහි කිසිඳු සැලකිල්ලක් දක්වා නැත. දැනටමත් බල පත්වන පුරාවිද්‍යා නීති තුට්ටුවකට මායිම් කොට නැත. ඊට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ මෙම ක්‍රියාකාරකම් රජයේ ඉහළ බලධාරීන් ඔවුන්ගේ හිතුවක්කාරී අභිමතය පරිදි සිදු කරන බැවිනි. ඔවුන් යහපතක් සිදුකරන මූවාවෙන් මෙලෙස විනාශ කර දමන්නේ දැයේ උරුමයයි. නැත....! මානව සංහතියේ උරුමයයි.
මේ සම්බන්ධයෙන් ඉතා මෑතකදී වාර්තාවූ උදාරහරණයක් වන්නේ පුරාණ මාන්තායි වරාය පරිශ්‍රයට සිදුකෙරෙමින් පවත්නා විනාශයයි. අනුරාධපුරය පාලන මධ්‍යස්ථානය වශයෙන් පැවති වසර 1500කට අධික කාලයේ ප්‍රධානතම නාවුක හා වාණිජ වරාය බවට පත්ව තිබූ මාන්තායි පැරණි වරාය නගරය පෙරඅපර දෙදිග ලෝකය යා කළ සේද මාවතේ කේන්ද්‍රස්ථානයක පිහිටියේය. කොන්ස්තන්තිනෝපල් නගරෙයේ සිට ඇෆ්ගනිස්ථානය පසුකරමින් චීනයට ගමන් කිරීමේ වෙළඳ මාර්ගයේ හරිමැද මෙම මාන්තායි (මන්නාරම, මහාතිත්ථ, මන්තොට, මහපටන) වරාය නගරය පිහිටියේය. අතීතයේ දකුණු ආසියාවේ වාණිජ ආධිපත්‍යය පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියා ලැබීමට එක් සුවිශේෂී හේතුවක් වූයේ ස්වභාවික අනතුරු රහිත මෙම වරාය නිසාය.
මන්නාරම මුහුදු වෙරළේ සිට රට අභ්‍යන්තරයට කිලෝමීටර් 05ක් පමණ ගමන් කලද මුහුදු මට්ටමින් අඩි 03ක් වත් නොඉක්මවයි. එවැනි සුවිශේෂී භූමිය ස්වභාවික පරිසරය අවශ්‍යතාවන්ට අනුව මනාව හසුරුවා ගනිමින් අශ්ව ලාඩමක හැඩයෙන් යුත් උස් ගොඩනැඟිල්ලක වරාය නගරය නිර්මාණය කිරීමට ඉපැරණි ලාංකීය වරාය ඉංජිනේරුවන් සමත් වී තිබේ.
මෙම භූමිය නිරන්තරයෙන් පුරා විද්‍යාඥයින්ගේ අවධානයට යොමුවී තිබේ. 1886 ඩබ්. ජේ. එස්. බොකේ ගෙන් පටන් ගෙන 1926, 1950, 1957, 1965, 1970, 1980 එස් යූ දැරණියගල දක්වා විවිධ වකවානුවල විවිධ පුරාවිද්‍යාඥයින් මෙහි පුරාවිද්‍යා පර්යේෂණ සිදුකර තිබේ. ලෝකයේ විවිධ රටවලට අයත් මැටිබඳුන්, පබළු, ආදියේ අවශේෂ විශාල ප්‍රමාණයක් හමුවී තිබේ. ඒ අතරට විවිධ රටවල නිකුත් කළ කාසි විශාල ප්‍රමාණයක්, ලෝහ මෙවලම්, ඇත්දළ නිර්මාණද වේ. දැනට මෙහි ඉතිරිව ඇති පැරණි ගොඩනැඟිල්ල තිරුකේශ්වර කෝවිලයි.
මාන්තායි වරාය නගරයේ සුවිශේසී පුරාවිද්‍යා වටිනාකම් සහිත කලාපය (Archiological Zone) 2009 දෙසැම්බර් මස විදුකළ ගවේෂණයන්හිදී අනාවරණය වූයේ එම බිම්කඩ එල්ටීටීයට යටත්ව පැවති සමයේ ඒ පරිද්දෙන්ම ආරක්ෂාවී තිබූ බවයි. එහෙත් මන්නාරම නගරය ඉදිකිරීමේ වන සැලසුම් ක්‍රියාත්මක වන්නේ නිසි කළමනාකරණය කින් නොවේ.
සංවර්ධනය යෝජනා ක්‍රම වල අක්‍රමවත් ක්‍රියාපටිපාටීන් හේතුවෙන් යුධ සමයේ විනාශයට පත්නොවූ සංස්කෘතික උරුමය පශ්චාත් යුධ සමයේ සංවර්ධන ක්‍රියාවලිය තුළ සංහාරයට පත්වෙමින් තිබේ. විශේෂයෙන් පුරාවිද්‍යා දේපාර්තමෙන්තුව මඟින් ලබාගත යුතු හානි ඇගයුම් වාර්තා (A 1 A Report) ආදී කිසිවකින් තොරව සිදුකරන මෙබඳු මැදිහත් වීම් තුළින් පුරාවිද්‍යාත්මක පරිශ්‍රය මුළුමනින්ම විනාශ කර දමනු ඇත. භූතලය මත වසර දහස් ගණනක් ගතවෙමින් සැතපෙන ස්ථර අනුක්‍රමික සටහන යනු එකී භූමියෙහි ඉතිහාස ගත ප්‍රවෘත්තියයි.
සංචාරක ව්‍යාපාරයට ගෝලීය අවධානය දිනාගත හැක්කේ මෙම උරුමය නිසි ප්‍රමුඛත්වය දී සංරක්ෂණය කිරීමෙනි. එය මිලියන ගණනින් මුදල් උපයන සංචාරක මධ්‍යස්ථානයක් කළ හැකිය. එහෙත් මේ වන විට මාන්තායි උරුමයෙන් විශාල කොටසක් ඩෝසර් යෝදා විනාශකර හමාරය. අද බොහේ විට ලංකාවේ සංවර්ධන ක්‍රියාවලිය සිදුවන්නේ ප්‍රවීනත්වය ඇති ක්ෂේත්‍රයේ වෘත්තිකයින්ගේ සැලසුම් අනුව නොවේ. මාධ්‍ය පිරිවරාගත් අමන දේශපාලනඥයින් උස් තැනකට නැඟ අත දිගුකර පෙන්වන සැලසුම් ඔස්සේය. ඔවුන් සංවර්ධනයේ කුරිරු බව තුළින්ම මෙරට ඓතිහාසික උරුමය කටුගා දමනු නොඅනුමානය.
No comments:
Post a Comment